14 වන ජාතික බාලදක්ෂ කබෝරිය සැප්තැම්බර් මස 15 -17 පුරා දින 03 ක් පැවැත්විණි.
මෙවර කබෝරිය අනුරාධපුර නගරයේදී පැවැත්වුණු අතර ඒ සදහා ලංකාවේ සියලු බාල දක්ෂ දිසාවන්ගෙන් පෝතක බාලදක්ෂයන් සහභාගී වූ අතර විදේශීය බාලදක්ෂයන්ගේ සභභාගීත්වයද කැපීපෙනුණි.ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානය මගින් 14 වැනි වරටත් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ කබෝරිය 15දා සවස 3.30ට දෙස් විදෙස් පෝතක බාලදක්ෂයින් දස දහසකගේ සහභාගිත්වයෙන් අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලයේදී ආරම්භ විණි.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සහභාගි විය.විශේෂ ආරාධිතයා ලෙස ලෝක බාලදක්ෂ සංගමයේ මහලේකම් ඩේවිඩ් බර්ග් මහතා සහභාගි වුණේය. එමෙන්ම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරු ද මේ අවස්ථාවට එක්වූහ.
සහාය ප්‍රධාන කොමසාරිස් (පෝතක) රේණුකා සිල්වා මහත්මිය ඇතුළු පිරිස කබෝරියේ කටයුතු සංවිධානය කරති.
‘සොඳුරු ලොවක්’ යන්න මෙවර තේමාවයි. වයස අවුරුදු හතත් එකොළහත් අතර වයසේ පසුවන පෝතක බාලදක්ෂයන්ට තෙදිනක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට රතු මල, අත් වැඩ, චිත්‍ර, ලොව වටා චාරිකා, ජන ගායනා, රංගනය ආදී ලෙස නම් කළ වැඩසටහන් ඇතුළත්ය.එමෙන්ම පෝතක බාලදක්ෂයන්ට මෙය සුවිශේෂි අවස්ථාවක් වූ අතර බාලදක්ෂයන්ගේ සාමූහිකත්වය ඉහල නංවන අංග රැසකින් මෙම කබෝරිය සමන්විත විය.
අනුරාධපුර බාල දක්ෂ දිසාවේ මූලිකත්වයෙන් සංවිධානය කල මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාට ස්තුතිවන්ත වන්නෙමු











